ඉරාකයේ සිට බටහිර බලා යන ඒබ්‍රහම් නම්වූ ගෝත්‍රික නායකයෙකි.මේ සංචාරක ගෝත්‍රිකයා ගේ නම ලොව පුරා රැව් පිළිරැව් දෙන්නට නියමව සිටියේය.අපගේ ගමේ අබරන් ආතා තම නමට මේ තරම් ඉතිහාසායක් ඇතැයි සිහිනෙනුදු නොසිතුවා විය හැක.අබරන් සිංඥෝ ට නිව සැප ලැබේවා කියා පෝස්ටර් ගසා තිබුනේ මීට වසර 20 කටත් පෙරය.අබරන් වී ආබ්‍රහම් වුනේ ආබ්‍රම් ය.මුස්ලිම්වරුන්ට ඔහු ඉබ්‍රාහිම්ය.
ලෝක ජනහගනයෙන් 50%කටත් වැඩි පිරිසකගේ ආගමික ශ්‍රේෂ්ඨ පීතෘමූලිකයා වූ මේ ආබ්‍රම් යුදෙව්,ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල උත්තමයෙකි.ආබ්‍රම් යනු අග්‍ර දෙවිදුගේ නොවෙනස් දායක මහතාය.අග්‍ර දෙවිදු ලොව මවා මිනිසුන්ද මැවූ බව මේ ආගම්වල ඉගැන්වේ.එහෙත් මිනිසුන් අග්‍රදෙවිදු අතහැර අන්දෙවිවරු අදහන්නට විය.එහෙත් ආබ්‍රම් පමනක් නොවෙනස් විය.
අග්‍ර දෙවිදු තම දායක මහතා කෙරෙහි ප්‍රසන්න වූයේ ඔහුට වරයක් දීමට මනාප විය.එනම් ආබ්‍රම්ට වංශයක් දීමයි.
අග්‍ර දෙවිදු කෙරෙහි මෙලොව මිනිසුන්ගෙන් වඩාම ප්‍රසන්නව හිටියේ අපේ ආබ්‍රම් මහතාය.මේ අග්‍ර දෙවිදුද මුළු මදපෙරදිගම පැවති සංකල්පයකි.එනම් මෙල්කිසදෙක් අන්නමැත්තෙක් ආබ්‍රම් ටද ආශීර්වාද කර ඇත.පසුකළෙක බාලෙම් නම් අනාවැකිකියන්නාද මේ අග්‍රදෙවිදුගේ දායකයෙකි.පර්සියාවේ අහුරමස්දා ධර්මයේද අග්‍රදෙවි කෙනෙක් ගැන කියවේ.යුදෙව්වන් වහලුන් ලෙස පර්සියාවේ සිටි කාලයේ මේ අහුරමස්දා ගැනද ඔවුනට දැනුමක් ලැබෙන්නට ඇත.
පසු කළෙක මෝසෙස් මිදියන්වරු අතර ජීවත්ව සිටියේය.මේ කාලයේද ඔහුට මේ අග්‍ර දෙවිදු ගන යම් දැනුමක් ලබෙන්නට ඇත.මෙයින් මා කියන්නට සිතුවේ මේ අරදෙවිදු යන සංකල්පය යුදෙව්වන්ගේම උරුමයක් නොවන බව කීමටයි.තැනින් තැන සැරි සැරූ ආබ්‍රම් ඉගෙනගත් දෙයක්ද විය හැක.කෙසේ හෝ දැන් අග්‍ර දෙවිදු ආබ්‍රම්ට ඔහුගේ ලොකුම ගටළුව විසදන බවට පොරොන්දු වී ඇත.එනම් වංශයක් දෙන බව පවසා ඇත.
ළමයා : අබරන් සීයේ අබරන් සීයේ කොයිබද ඔබ යන්නේ
සීයා :
සින්නක්කර ඉඩමක් ගැන හිතමින් මම ඔබ මොබ යන්නේ
ළමයා :එඩේරෙක්නෙ ඔබ මගෙ සුදු සීයේ ඇයි ඉඩමට පෙම් බැන්ඳේ
සීයා : දරු මුනුපුරු කැල ගැන හිතලයි මම ඉඩමට ආවේ.
හිත්ති වරුන් හට දෙනව බැටේ හිවී වරුන් හට දෙනව බැටේ
(අබරන් සීයා නටයි)
අබරන් සීයේ නුඹගේ ලෝකය නුඹ ගොඩනගපන්නේ.
හරි වරදක් ගැන නුඹගේ සිතමයි නුඹ පිහිටට එන්නේ
අග්‍රදෙවිදුමයි සෙවනැල්ලක් වී මං සලකුණු දෙන්නේ
නුඹ ඒ උතුමා රෑද දවාලෙද වීනාවෙන් පසසන්නේ
අනෙ මගෙ සීයේ සෙමිටික් සීයේ ලස්සන ගී කියපන්නේ
නුඹෙ සුදු මූනයි දත්නැති මුවකමලයි අපූරුවට ඇත්තේ
එනමුදු නුබගේ අතරැදි අසිපත නුඹ මහ විරුවෙක් කරවන්නේ
නුබගෙන් පැවතෙන දරු දන හට මුලුලොව හිමිවන්නේ
නුබ ගැන මතකය මේ වැලි කතරේ වැලි අතරේ ඇත්තේ
නුබගේ ගීතය පදවල් අල්ලා හෙට සහසක් ගයනු ඇතේ
දෙවිදුන් මේ වංශය දෙන්නේ කානානි පුරයෙනි.කානානිපුරය යනු නූතන ඊශ්‍රායලයයි.ඔය කියන කාලයේ මෙම භූමියේ සිටියේ හිත්තිවරු,අමෝරිවරු,හිවීවරු වැනි ගෝත්‍රිකයන්ය.මේ හිත්ති වරු කියන්නේ තුර්කියේ සිට බලපැවැත්වූ හිටයිට් අධිරාජ්‍යයයි.ඔවුහු ආර්යයෝය.ආබ්‍රම් සෙමිටික්වරයෙකි.
මෙහිදී එකළ ලෝක සිතියම සුලුවෙන් පැහැදිලිකරන්නට ඉඩ දෙන්න.
මැදපෙරදිගට ලොව හතර වටින ආක්‍රමනිකයෝ ගොඩ වදින්නට වුනේ මැදපෙරදිග යනු සාරවත්ම භූමිය වූ නිසාවෙනි.ඊජිප්තුවේ මිසර ශිෂ්ටාචාරය හා නැගෙනහිර පර්සියාවත් උතුරේ සුළු ආසියාවත් මධ්‍යයේ මෙසපොතේමියාවත් විය.තවත් නැගෙනහිරට වන්නට ඉන්දු නිම්නය විය.රෝම අධිරාජ්‍යය හා කැරොලින්ගියානු හා මෙරොව්න්ගියානු අධිරාජ්‍ය ඊනියා ම්ලේච්ඡ ආක්‍රමන නිසා බිද වැටුන පරිදිම මැදපෙරදිග පැවති සභ්‍යත්වද ඊනියා ම්ලේච්ඡයන් නිසා බිද වැටුනි.
මැදපෙරදිග ලෙයින් නැහැවූයේ යැයි නම් දරා සිටින හිටයිට් වරු බයිබලයේ හිත්තිවරු ලෙස හැදින්වේ.යුදෙව් නොහොත් හෙබ්‍රෙව්වන් හා මොවුන් අතර විරසකයක් තිබුනි.
අයිසැක්ගේ බිරිද කියන්නේ අනේ මගේ පුතුන්ට හෙත්ගේ දුවක් නම් ලේලියක් ලෙස ගේන්න එපා කියායි.හෙබ්‍රෙව්වන් හිටයිට් වරු අතර මිතුරුකමක් නොවූ නමුත් වෙළදාම් කළ බව පෙනේ සාරා යනු ආබ්‍රම්ගේ බිරිදය.ඇය මළ පසු තැන්පත් කළේ හිටයිට් සොහොන් පොළකය.
මෙහිදී හිටයිට් වරු ආබ්‍රම්ට බිය බවක් පෙන්වුවද එය ඝැටළු අහිතය.සමහර විට හිටයිට් වරු කුඩා කන්ඩායම් ලෙස මේ කාලයේ බෙදී සිටියා විය හැක.හිටයිට්වරුන්ට නන්නත්තාරේ යන හෙබ්‍රෙව්වෙකුට බියවීමට හෝ ගරු කිරීමට හේතුවක් නොවීය.එකළ මැදපෙරදිග මහ බලවතුන් වූ මිසරයන් හා හිටයිට් වරු අතර ගිවිසුම් ගැන ලියවිලි පවා හමු වී ඇත.
හිටයිට් වරු හා මිසරයන් අතර ගිවිසුමේ දෙවි දේවතාවන් අන් කවරෙක්වත් නොව අපදන්නා ඉන්ද්‍ර වරුන යම යන දෙවිවරුය.මෙය හතර වරම් දෙවි සංකල්පයේ ආරම්බයයි.එනම් හිටයිට් වරු ඉන්දියාවට පැමිණි ආර්යයන් සේම එකම දෙවිවරු අදහන්නට ඇත.
තවත් ගෝත්‍රයක් නම් මිතානිවරුය.බයිබලයේ මිදියන් නමින් කියවෙන්නේ ඔවුන්දැයි නොදනිමි.ඔවුන් විය හැකි බව මම නම් සිතමි.යුප්‍රටීස් නදියේ උතුරේ ඇසිරියන්වරුත් දකුනේ බැබිලෝනියන්වරුත් සිටියහ.
ඉරානයේ උතුරේ මීඩියන්වරුත් පර්සියන්වරුත් දකුනේ එලාම්වරුද සිටියහ.එලාම්වරු ආර්යයෝය.යුරෝපයට හා ඉන්දියාවට බෙදී ගියේ එකම පිරිසක් බව වාග්විද්‍යා සාක්ශි මෙසේ ඇත.කස්සිවරු ලෙස බයිබලයේ කියවෙන කැසයිට්වරු බබිලෝනියාව ක්‍රි පූ 1700 සිට ක්‍රි පූ 1100 දක්වා දිගු කලක් පාලනය කිරීමම පුදුමය දනවයි.කස්පියන් මුහුදට ඒ නම වැටුනේ කැසයිට් වරු නිසා මිස අරිසෙන් අහුබුදු කියන පරිදි කාශ්‍යප නම් හෙළ කුමරා නිසා නොවන බව සළකන්න.අහුබුදු කියන්නේ යුක්‍රේනයේ ඩැනියුබ් නදිඅයට ඒනම වැටුනේ දානව නම් හෙළ කුමරා නිසාලු.ඒ කතා පැත්තක තිබියේවා.ඉතින් මේ ලෙස ගෝත්‍රික ප්‍රහාරවලට ලක්වී මැදපෙරදිග මාතෘමූලික පෞර රාජධානි බිදවැටුනි.එනම් ඉන්දු නිම්නයේ මව් දෙවගන,බැබිලෝනියාවේ ඉෂ්ටාර්,මිසරයේ අයිසීස් ලෙබනනයේ එනම් ෆිනීෂියන්වරුන්ගේ ඇස්ටාර්ට් යන සර්වබලධාරී දේවතාවියන් බලගතු පුරුෂ දෙවියෙකුගේ ප්‍රහාරවලට ලක්වෙයි.මේ ආසන්න කාලවල සිදුවූවකි.
බයිබලයේ සදහන් වෙන්නේ මේ අයගෙන් ඇස්ටාර්ට් පමනි.බාල් ඇයගේ පුරුෂ දෙවියාය.මේ පුරුෂ දෙවිවරු සර්වබලධාරී දෙවතාවියගේ පුත්‍රයා වන අතරම වල්ලභයාද වෙයි.ඔවුන්ට බලයක් නැත.මාතෲ පුත්‍ර විවාහ ක්‍රමය ශිෂ්ටාචාරයේ වර්දනයත් සමගම සහෝදරියන් විවාහ කර ගැනීමක් බවට පෙරළුනි.
මෙම දේවතාවියෝ යුද්ධයට අධිපති වූහ.නරබිලි දෙනු ලැබුවේ ඔවුන් වෙනුවෙනි.මේ ආදිකාලීන දේව සංකල්පය අපූරුය.එනම් මියයන හා යළි පුනරුප්පත්තිය ලබන පුරුෂ දෙවියෙක් ගැන කියවේ.තුර්කියේ එනම් සුළු ආසියාවේ සයිබීලි දේවතාවියගේ වල්ලභ පුරුෂ දෙවියා ඇට්ටිස්ය.මිසරයේ අයිසීස්ගේ වල්ලභයා ඔසිරිස්ය.ඇට්ටිස් මෙන්ම අසිරිස්ද මරනු ලැබ යළි ජීවනය ලබයි.
මරනු ලබන හා යළි උත්ථානවන දෙවියෙකු පිළිබද අදහස ඉතා පැරණි බව පෙනේ.එසේම මේ ඇදහිලි ලොව වැඩිම භූම් ප්‍රමානයක රාජ්‍ය ආගම විය.
ආබ්‍රම් එක් පීතෘමූලික දෙවියෙක් වෙනුවෙන් පෙනී සිටින්නේ මෙවැනි පසුබිමකය.
මේ සටන කළ එකම පුද්ගලයා ආබ්‍රම් නොවේ.මදපෙරදිග චින්තන පෙරළියක් වූ අතර මර්ඩුක් මාතෲ දේවතාවිය පරාජය කර ප්‍රධාන දෙවියා විය.ආසන්න කාලයක ඉන්දියාවට කඩා වැදුන ආර්යයෝ මාතෲ ඇනි දේවතාවිය පරදවා ඉන්ද්‍ර වරුන වරුන ආදී දේව ආධිපත්‍ය පැතිරවූහ.
සෙමිටික් යාහ්වේ නොහොත් යෙහෝ විසින් නැගෙනහිර පළාත්වල මාතෲ දේවතාවියට පහර දුන්හ.දෙවියන් යන වචනයට ඔවුන් ඒලී එල් ශඩ්ඩයි වැනි වචන භාවිතා කළහ.අරාබියේදී මේ ඒලී අල්ලාහ් නම් විය.
කුරුසයේදී යේසුස් වහන්සේ දෙවිපියානන් අමතන්නේ ඒලී යන නමිනි ( ඒලී ඒලී ලාමා සබක්තානි )
අද ලෝකයේ ජනගහනයෙන් බහුතරයක් මෙන්ම ලෝක භූමි ප්‍රමානයෙන් වඩි කොටසක් පාලනය වන්නේ මේ ආබ්‍රම් නම් මිනිසා මූලික වූ ආගම්වලිනි.එබැවින් යුදෙව් ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් එබ්‍රහමික ආගම් නම් වේ.අද පවතින තත්වයට මේවා පත්වුනේ විවිධ සංදිස්ථාන පසුකරමිනි.
එක් අවස්ථාවක යුරෝපයේ කුමන ආගම ප්‍රධාන වන්නේද යන්න නිශ්චිතව කිව නොහැකි විය.ඇපලෝනියස් ඕර්ෆියස්ද යේසුස් වහන්සේද නැත්නම් මිත්‍රාස් දහමද යන්න අපැහැදිලි විය.කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානිය රාජ්‍ය ආග්ම කළේ දේශපාලන උපක්‍රමයක් ලෙසය.ඔහු නියම ක්‍රිස්තියානිකාරයෙක් නොවීය.
ඔහුට පසු යුරෝපා ඉතිහාසයේ ආගම අතහැරි ජූලියන් ලෙස හදුන්වන ජූලියන් අධිරාජයා රජ විය.
මේ ජූලියන් අධිරාජයා ක්‍රිස්තියානිය තහනම් කර මිත්‍රාස් දහම රාජ්‍ය ආගම කළේය.ක්‍රිස්තියානියේ සාර්ථකත්වය අධ්‍යනය කළ ජූලියන් මිත්‍රාස් දහමටද පූජක හා ආගමික සංස්ථාවක් ස්ථාපනය කලේය.ඔහුට පර්සියාව සමග යුද්ධයකට යාමට සිදුවිය.එම යුද්ධය ජයගත්තත් ආපසු රෝමයට එන අතරමග ඔහු මළේය.ඔහුගේ අවසන් වදන් වූවේ ගැලීලියානුවෙනි ජය ඔබටය යන්නයි.ගැලීලියානුවා යනු යේසුස් ය.ඉන්පසු බලයට පත් තියඩෝසියස් අවංක කිතුනුවකු වූවේ ක්‍රිස්තියානිය හැර අන් සියලු ආගම් තහනම් කළේය.එහෙත් ක්‍රි:ව 400 පමන වනතෙක් පේගන් බිලිපූජා යුරෝපයේ පැවතුනි.
අප මොහොතක් සිතමු ජූලියන් එහිදී මියගියේ නැහැ කියා.එසේනම් පෘතුගීසීන් හරහා ලංකාවට එන්නේ මිත්‍රාස් ආගමයි.මීගමුවේ සිට වෙන්නප්පුව තෙක් මිත්‍රාස් පල්ලි දැකගත හැකිවනු ඇත.
මෙබදුම තීරනාත්මක තවත් මොහොතක් එයි.ඒ මුස්ලිම් හමුදා රැගෙන අබ්දුල් රහමන් ප්‍රංශය මැදටම ගිය මොහොතයි.එහිදී චාල්ස් ඔහු පරාජය කළේය.තුටු පහටු වූ පාප් වහන්සේ ක්‍රි:ව 800 නත්තල් දින ඔහු ශුද්ධ රෝම අධිරාජයා ලෙස අභිශේක කරයි.
එදා අබ්දුල් රහමන් යුද්ධය ජයගත්තානම් අද තත්වය වෙනස්ය.උතුරු හා දකුණු ඇමරිකාව ,යුරෝපය ,ඕස්ට්‍රේලියාව හා රුසියාවද මුස්ලිම්ය.මුස්ලිම් නොවන ලෝකය ලෙස චීනය හා අවට රටවල් පමනක් ඉතිරි වනු ඇත.යම්හෙයකින් 1505 දී පෘතුගීසීන් ලංකාවට ආවා නම් ඒ එන්නේ මුස්ලිම් පෘතුගීසීන්ය.නමුත් එසේ වූවානම් පෘතුගීසීන්ට ලංකාවට එන්නට අවශ්‍ය නැත.මන්ද ඔවුන් මුහුදු මාර්ග සෙව්වේ තුර්කීන් කොන්ස්තන්තිනෝපලය අල්ලාගෙන ආසියාවට තිබූ ගොඩබිම් මාර්ග අවහිර කළ බැවිනි.
මේ කථාන්තරය අපූරුය විශ්මය ජනකය.බටහිරනැගෙනහිර ලෝකයේ දාර්ශනික ආගම්වල කතාවද මෙසේ ලිවිය හැකි වුනත් එහිදී මේ තරම් රසවත් නැත.මන්ද ගැඹුරු දාර්ශනික කරුණු සාකච්ඡා කළ යුතු වන බැවිනි.නමුත් එම සාකච්ඡාවද කල යුතුය.එවිට එම දාර්ශනික චින්තාවන් එකම මූලයකින් පරිනාමය වූ එකම කථාවක් බව පැහැදිලිවන බැවිනි.ඒබ්‍රහමික හා නගෙනහිර ආගම්වල පොදු දාර්ශනික හරයන් ගැනද කථා කරමු.එවිට සිත මමත්වය දෙවියන්වහන්සේ නිර්වානය/මෝක්ෂය වැනි සංකල්ප ගැඹුරින් සාක්ච්ඡා කල හැක.